Monday, December 25, 2017

වීදි සරන්නී


විප්ලවයට ගිය දුවට...


විප්ලවයට ගිය දුවට...

මග නොදැන හසරක් සොයා
මාත් දවසක් පෙළපාළියේ ගියා
හිතක් පපුවක් නැතිව උන් ළඟ දෙපා
මලක් පොඩිවී තැළුණු හැටි දුටුවා...

ගලක් කරගෙන හිතක ඇති මුදු ආදරේ
සෙතක් නෑ දුවේ නුඹෙ බොරු විප්ලවේ
කළත් නුඹ සිසු අණට ඔය උද්ඝෝෂණේ
ඵලක් නැති වෙයි උන් කියාදුන් මාවතේ....

නවක වදයයි නුඹ ගෙවන්නේ රැවටෙමින් උන් බසට
මහා මන්දිර තනා උන් ඇත මුදල් ගණිමින් බැංකු පොත්වල
තාවකාලික බසක් කියමින් නුඹව රවටන උන්ව මගහැර
ජයගනින් ජීවිත පොතේ ඇත සොඳුරු පිටු නුඹ නමින් වෙන්කර....

මමත් විරුවෙක් පාරෙ ගුටිකන අපියි මහ ලොකු අන්තරේ
ගියත් මරණෙට මිසක් නොනැවත ජයම පතමින් විප්ලවේ
උඹත් ඒ මග මමත් එකතැන උනුන් ජයගත් පසු පුතේ
මළත් නුඹ මිස නුඹට උන් නැත සිතම රැවටූ මන්තරේ...

වරෙන් පුළුවන්නම් කියාගෙන කාකි ඇඳුමට බැනවදී
ඉතින් මොකටද මළත් කම්නැත ඒ අපේ පරපුරෙ හැටී
හිතින් බැන බැන උන්ට වඳිනා තේරුමක් නැති බව දැනී
බැටන් පොල්ලෙන් දෙක වදිද්දී නුඹේ මරණය උන් යදී...
- අකිල -

Monday, February 27, 2017

පෙම් සඳැස



සනසාලුව මැන නෙත් හසරැලි ළඟ
විහිදාලනු මැන සඳ සේ වුවනත
පහදාදෙනු මැන ප්‍රේමයෙ රස බස
වටහාගනු ඇත ලොවම එසේ....

එකිනෙක පැටලී නැළවුණු සිතුවිලි
සුසුමක සිරවී නැවතුණු කැළඹිලි
පැතුමක දැවටී සැනසුණු ඇවිටිලි
මැණිකක වටිනාකමට හැරේ...

සිත්ලෙස වැළපී පියවුණු යුග නෙතු
සිසිලස ලැබදී සැනසුණු සඳ මතු
දස දෙස පැතිරී එකතැන නැවතුණු
පෙම් රස දෙහදක සිරිය ගෙනේ...

-අකිල- 

Thursday, February 16, 2017

ප්‍රේමයේ ඇරඹුම



හමුවුණා දවසක ඉටු නොවූ පැතුමන්
විසිරුණා තරු නෙතු හදවතේ කැල්මන්
ඇතිවුණා දෙහදක මතුවෙනා හැඟුමන්
යා වුණා ජීවිතේ වී පෙමින් කුල්මත්....

රැලි නගා මහ සයුර සුදු වෙරළ සිම්ඹා
ගුලි වෙලා හදපුරා නොලැබු සුව වින්දා
යළි සිනාසෙන තුරා ජීවිතේ රන්දා
පිළිවෙලින් මගේ සිත නුඹට පෙම් බැන්දා...

වේදනා කඳුළු මැද සංසාර පුරුද්දට
සාදනා ආලයේ පෙරනිමිති පහළකොට
යාවුණා ජීවිතේ ආදරේ කඩඉමට
පීදුණා මල් පියලි හද බැඳිම ඉසව්වට....

රන් කරල් බිමට බර නිල් ගොයම් හා වෙලී
දැන් ඉතින් අස්වැන්න සරුසාර වෙයි යළී
රොන් උරා සමනල්ලු මල් සමග හාද වී
යන් පමා නොමවෙලා වසන්තය මග හිඳී.....

-අකිල- 


Wednesday, February 15, 2017

මොකද මන්දා රටට වූයේ....

මේ දින කිහිපයේ අසන්නට ලැබුණු ප්‍රවෘත්ති තුනක්

1. බෙහෙත් ගන්න ආ රෝගී දරුවා පයින් ගැසුවැයි වෛද්‍යවරයා දරුවාට පෙරළා පයින් ගසා සෙරෙප්පුවෙනුත් ගහලා
2. බස් රියේ වමනය කළැයි ගැබිණි මවට බස් රථය සෝදන ලෙස කොන්දොස්තර නියම කරලා
3. පෙම් හබයක් නිසා ආනන්ද නාලන්ද සිසු ගැටුමකින් පිරිසක් රෝහලේ - බස් රථ දෙකකටත් හානි

මම මුකුත් කියන්නෙම නෑමයි .... හිත රිදෙන කතන්දර බොහොමයි.....

පෙම්වතුන්ගේ දින සිතුවිලි

වියළි කර්කෂ බව නිවන්නට
හීන් වැහිපොද ඇද හැළේ
ගිමන් කල කෘෂවී බිඳී ගිය 
ගස් කොළන් දළු ලා වැඩේ....
පෙම්වතුන්ගේ දිනය කියමින්
විඩාබර නෙත් යුග ගැටේ
අකල් වැහි පොද ඔවුන් සිත් තුළ
ගිනියමට සිහිලක් නොදේ....
කටුක රළු මහ පොළව තෙත් වෙයි
ඒත් සිත් මත තෙත නොදේ
ගිමන් කල මෙනි හීන් වැහිපොද
වැටි වැටී බොඳවී මැකේ...
රාග උණුසුම නිසා වෙහෙසුණු
යොවුන් සිත් විස නොම සිඳේ
ආදරය නාමෙන් ඇවිත් යන
අකුණු සර ගිගුරුම් දෙතේ...
වසන්තය යැයි කියා රැවටුණු 
කොවුල් ගීත ද පැතිරුණේ
යොවුන් සිත්වල නැවුම් පැතුමන්
අකුණු සර ඇයි ගොළු කළේ....
නොමේරූ සිත් මතට ඉඳ හිට 
වරින් වර වැසි ඇද හැළේ...
නොපැතු නොසිතූ වෙලාවකදී
අකුණු වුව හිස මත වදී...
-අකිල-