මගෙ බිසවුනේ අසාපන්
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණී..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි...//
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප භවනේ..
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්...
නුඹ මන්ද්‍රි දේවි නොවුණී..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි...//
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප භවනේ..
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්...
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගායනය : විශාරද ගුණදාස කපුගේ
සිංහල නාඩගම්, නූර්ති සංගීතය විෂය
පථය පුළුල්ව දිව යන්නකි. විශිෂ්ට නූර්ති කාව්‍යයක් වූ වෙස්සන්තර නූර්තිය
අනුසාරයෙන් බිහිවූ දුර්ලබ හා ශ්‍රේෂ්ඨ ගණයේ ගේය පද
රචනාවක් ලෙස “මගෙ බිසවුනේ අසාපන්” ගීතය හැඳින්විය හැක. මෙරට සිටින ප්‍රවීණ මෙන්ම
ජනප්‍රියතම ගීත රචකයෙක් හා සාහිත්‍යධරයකු වන රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' ගීතය
වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩක්
ලෙස හැඳින්විය හැකිය. මෙම අපූරු නිර්මාණයට පාදක වූ ගීත රචකයාටම පෞද්ගලිකවූ අත්දැකීමක්
ඇති බව රත්න ශ්‍රී විජේසිංහයන්ම කියා ඇත. එමෙන්ම මෙය එවැනි අත්දැකීම් සහිත තවත්
බොහෝ පිරිසකට සිය ජීවන ගීතය බවට පත්වන්නේ නිරායාසයෙනි. විශේෂයෙන්ම රැකියාවේ දුෂ්කර
සේවයට යාමට සිදුව ඇති බොහෝ පිරිසකට ගුණදාස කපුගේ අතින් ගැයෙන මෙම ගීය සිය වේදනාව
නිවන්නට මුවග තෙමන අමෘතයක් බඳුය.
මගෙ බිසවුනේ අසාපන් ගීතය සංගීතවත්කොට ගායනය කරණු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගීතයේ පළමු පද පේළිය ඇසෙන විටම එහි ඇති දුෂ්කර කටුක
බව මනාව සිතට ගලාගෙන එනුයේ වෙස්සන්තර ජාතකයද නිතැතින්ම සිහියට නැගෙමිනි.
“මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවී නොවුණී
දුෂ්කරවූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී
මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විසඝෝර සර්ප භවනේ...”.
මේ
කියන්නේ දුෂ්කර සේවයට යෑමට සිය බිරිය හා දරුවන් මදකට ඈත්කරන සැමියකුගේ, පියකුගේ ආත්මීයවම
සිතට නැගෙන ශෝකාලාපයයි. එහි හඬ ස්වරයද ගුණදාස කපුගේ නමැති අසහාය ගායන ශිල්පියාගේ
ජන මනසට කාවැදුණු හඬින් ගැයෙද්දී ගීතයේ අරුත මනාව පසක් කිරීමට දායකත්වය සපයයි.
ගීතයේ පදනම සකස්වූ ආකාරය දෙස
විමසා බැලීමේදී මෙම ගීතය රචනා කිරීමට රත්න ශ්‍රී විජේසිංහයන්ට නිසැකවම ජාතක කතා පොතෙහි ඇතුළත් ප්‍රේමයේ සියුම් අවස්ථාවන් ස්පර්ශ කරන වෙස්සන්තර ජාතකයේ බලපෑම හා අභාෂය ලැබී ඇති බව
පැහැදිලි වේ. පසු කලෙක වෙස්සන්තර ජාතකය නාඩගමක් වශයෙන්ද නැවත නීතීඥ ජෝන් ද සිල්වා විසින් නූර්තියක් ලෙසින්ද ඉදිරිපත් කරන ලදී.
මීට පාදක වූ බවට සැලකිය හැකි වෙස්සන්තර නූර්තියේ එන ගීතය මෙසේය.
“මගෙ මන්ද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගෙ
නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
හිමාල දේසෙ වේවි
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ...”
රත්න ශ්‍රී
විජේසිංහයන් විසින් රචිත බොහෝ ගීතවලට ඔහු
සිය අත්දැකීම් මෙන්ම ඔහුට මුණගැසුණු සමාජ චරිතයන්ගේ
අත්දැකීම් මනාසේ
කැටිකොට ගෙන ඇති ආකාරය දැකිය හැකිය. “සුදු
බණ්ඩි”, “සුදු නෙළුම කෝ”, “සිංහල සිංදු කියන”, “වෙල්ලස්සේ ගීතය” එවැනි නිර්මාණවලට උදාහරණ කිහිපයකි. “මගෙ බිසවුනේ අසාපන්” ගීතය රත්න ශ්‍රී
විජේසිංහයන් තමන්ගේම අත්දැකීමක් පසුබිම් කර ගනිමින් නිර්මාණය
කළ ගීතයකි. ගුරු සේවයේ නිරතව සිටි ඔහුට දුෂ්කර
පළාතකට මාරුවීමක් ලැබීම හේතුවෙන් වූ මානසික තත්ත්වය විග්‍රහවීම මෙම ගීතය ඔස්සේ
දිගහැරේ. ඒ අනුව වෙස්සන්තර රජු ගේ චරිතය රත්න ශ්‍රී විසින් ආරෝපණය කරගෙන ඇති අතර සිය ආදරණීය බිරිය
මන්ද්‍රී දේවියට ආරෝපණය කර ඇත. වෙස්සන්තර කතාවට වඩා වෙනස් පැතිකඩක් ගත්තද මේ
ඔස්සේ රත්න ශ්‍රී සිය ප්‍රතිභාව මනාව විදහා දක්වා ඇත්තේ සිය අත්දැකීම බොහෝ දෙනාට
ආරූඪ කරගත හැකිවන පරිදිය.
සිය
පළමු ගුරු පත්වීම තෙල්ලඹුරේ විදුහලකට ලද රත්න ශ්‍රීට කිසියම් හේතුවක් නිසා මොනරාගල, ඔක්කම්පිටිය විදුහලකට දුෂ්කර මාරුවීමක් ලැබිණි. සිය බිරිඳ හා දූ සිඟිත්තියද දමා යන්නට සිදුවෙන මේ ගමන සැබැවින්ම වංකගිරියට යෑමක් ම බඳු විය. ඔහුගේ සිත කම්පනය කළ මෙම සිදුවීම ඔහු මුලින්ම නැගුවේ කවියකටය. ඒ එවකට 'තරුණී' පුවත්පත හරහාය. ඔහු මොණරාගල සේවය කරන කාලයේ ලියූ කවි ගීත එකතු කර 'වංකගිරිය'
නමින් කවි පොතක් ද එළි දැක්වීය.
තරුණී පුවත්පතේ පළවූ ඔහුගේ කවිය දකින ප්‍රවීණ ගීත රචක ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් විසින් එය ගීතයක් ලෙස සකසා රත්න ශ්‍රී වෙත ලියමනකින් දන්වන්නේ ඔහුගේ අනවසරයෙන් කවි පෙළ ආශ්‍රයෙන් ගීයක් සකස් කොට ගුණදාස කපුගේ මහත්මාට දුන් බවය.
නමුත්
පසුව ගුණදාස කපුගේ විසින් ගායනා කරනු ලබන්නේ නැවත වරක් රත්න ශ්‍රී
විජේසිංහයන් සංකරණය කළ ඔහුගේ කවි පෙළින් නිමවූ ගීතයයි.
සිය
බිරිය ඔහුට මන්ද්‍රී දේවියක්ම වන බව ඔහු කියනුයේ සියලු දුක් පීඩා, වේදනා ඉවසා දරා ගෙන ඔහුත් සමඟ ජීවිතය නම් වූ ගංගාව තරණය කිරීමට ඔහු අත් නොහැර තේරුම් ගන්නා තැනැත්තිය නිසාය. ගීතය හරහා ඔහු අයැදින්නේ වෙසතුරු රජු පසු පස පැමිණි මන්ද්‍රී දේවිය මෙන් ඔහුත් සමඟ දුෂ්කරවූ ඔක්කම්පිටියට යාමට නො එන ලෙසයි. “දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී, බැහැ
යන්ට නුඹට හිමයේ ගොස් ඉන්ට කුලී නිවසේ” ආදී වශයෙන් ඔහු කියන්නේ එයයි.
වෙස්සන්තර නූර්තියේ ඇති “නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී - හිමාල දේසෙ වේවි - නවතින්න මාලිගාවේ
- සීදේවි නේනු මාගේ”
යනුවෙන් කියවෙන්නේද එම අර්ථයයි. එහි දැක්වෙන හිමාල දේසයට ඔහු නොගියත් හිමය යන වචනය
සිය ගීයට ඔහු යොදාගන්නේද මේ වෙස්සන්තර නූර්තියේ අභාෂය මෙන්ම සිය ගමනේ දුෂ්කර බව
විදහා දැක්වීමට බව සිතිය හැකිය.
“නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ...”
අතිශය
හද කම්පනය කරන පද පෙළක් ලෙස ඉහත පද කිහිපය හැඳින්විය හැකිය. සිය බිරිය සඳ මඩලක්
වැනිය. තම දියණියන් ඇය තුරුළේ සිටින බව ඔහු හඟවන්නේ සඳ මඬලේ නිදා සිටින සා
පැටවුන්ට සම කරමිනි.
“හාමතේ
නොලා දරුවෝ - නවතින්න බිසවු නගරේ” මේ ඔහු සිය බිරියගෙන් ඉල්ලන ආදරණීය ඉල්ලීමකි. තම
දරුවන් බඩගින්නේ තැබීමට කිසිදු මවක් හෝ පියෙක් කැමති නැත. මේ ගමන ගියොත් තම දරුවන්
බඩගින්නේ තබන්නට පවා සිදුවනු ඇතැයි ඔහු බියවෙයි. මේ අසන දෙමාපියන් දරුවන් කාගේත්
සිත් මොහොතකට සංවේදී වනු නොඅනුමානය.
එම
ගමනේ දුෂ්කර බව තවත් තීව්‍ර කරමින් ඔහු මීළඟ පද කිහිපය පෙළ ගස්වයි.
“නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්”
මෙම ගීතයේ ද ඉහත පද වැල සම්පූර්ණයෙන්ම වෙනම සමාජ කතිකාවතක් ගොඩ නගයි. සිය බිරිය විදෙස් රටවල ගෘහ සේවයට
යවා බිරියගෙන් යැපෙන දරු පවුල්, එමෙන්ම දරු පැටවුන්ට එහිදී අත්වන අනුවේදනීය ඉරණම
ආදී සමාජයේ සියුම් සංවේදී තැන් එමගින් ඔහු ස්පර්ශ කරයි. එවැනි ඛේදනීය තත්ත්වයකට
ඔහු සිය බිරියත් දරුවනුත් හෙළන්නට කිසිදු කැමැත්තක් නැත. තමා දිවි දෙවැනිකොට පවුල
වෙනුවෙන් කැපවන ආදරණීය ස්වාමි පුරුෂයකු බව එම පද පෙළින්ම ඔහු ගම්‍ය කරනුයේ “දිවි පුදා
තොප රකින්නම් - නොපුරා එහෙත් පෙරුම්දම්” යනුවෙන් සඳහන් කරමිනි.
“නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සාපැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ...”
නැවතත්
සිය බිරිය හා දරුවන් සඳ මඩලට හා එහි නිදන සා පැටවුන්ට උපමා කරන ඔහු ඇයට ආරාධනා
කරන්නේ හැබැහින් නොව සිහිනෙන් ඔක්කම්පිටියට පැමිණෙන ලෙසයි. හිමවතට එන්නැයි යළිත්
ඔහු කියන්නේ දුෂ්කර පළාත හිමවතට උපමා කරමිනි. ඔහුගේ අවසාන අහිංසක ඉල්ලීම සිහිනෙන්
පැමිණ සිතේ සඳුන් තවරන ලෙසයි. එනම් තම සිතේ පැළපදියම්වී ඔහුගේ එකම සැනසීම වන සිය
පවුල සිහිපත් කරන මෙන්ය.
පසු
කලෙක රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ මේ සම්බන්ධ කෘතියේ මෙම ගීතය හඳුන්වා ඇත්තේ “වංකගිරියට
පිටත්වීම” යනුවෙනි. සිය ආත්මීය සංවේදනාව තම අත්දැකීම් සමග මනාව මුසු කරමින් පද
රචනය කර ඇති මගෙ බිසවුනේ අසාපන් ගීතය හෙළ ගීත සාහිත්‍යයේ අපූර්වතම ගීයක් ලෙස
සැලකිය හැකිය.

No comments:
Post a Comment